Menu

logo new 2015-5-11

මරණ දඩුවම දඩුවමක්ද ?

මරණ දඩුවම දඩුවමක්ද ?

පසුගිය දිනක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින්, මරණ දඬුවම පිලිබඳ ඉදිරියට ඇදෙමින් පවතින සමාජ කතිකාවට සිය මැදිහත්වීම සිදුකරනු ලැබ තිබුණා. ඔහුගේ මූලික අදහස වී ඇත්තේ අපරාධකරුවන් බිහිවන සැබෑ මූලයන් තේරුම් ගැනීමත් ඒවා වෙනස් කිරීමත් හැර කිහිප දෙනෙකුට මරණ දඬුවම ලබා දීම හුදු පලිගැනීමකින් එහා නොයන තාවකාලික පැලැස්තරයක් පමණක් බවයි. පහතින් පලවන්නේ ඔහු විසින් කර තිබූ සම්පූර්ණ ප්‍රකාශයයි.

සේයා නම් පුංචි දැරිය ලිංගික හිංසනයට පාත්‍ර කර මරා දැමු සිද්ධිය අපේ සමාජය තුළ විශාල කම්පනයක් ඇති කර තිබෙනවා. රට පුරා විවිධ සමාජමය තල වලට අයත් පිරිස් උද්ඝෝෂණ වල නිරත වෙනවා. ඒ උද්ඝෝෂණ බොහොමයක සටන් පාඨය වී තිබෙන්නේ ළමා අපචාර වල වැරදිකරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතුයි යන්න. මේ දිනවල රට පුරා හන්දි වල එල්ලා ඇති විවිධ සංවිධාන වල බැනර් වලින් කියවෙන්නේත් මරණ දඬුවම නීතිගත කර කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ලිංගික හිංසනයන් කරන විකෘති මානසිකත්වයක් සහිත කාමාතුරයන් එල්ලා මැරිය යුතු බව. සමාජය තුළ මේ අදහස එන විටම වහාම ක්‍රියාත්මක වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරණ දඬුවම යලි සක්‍රීය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටින බව ප්‍රකාශ කළා. එය මරණ දඬුවම සක්‍රීය කරන අපේක්ෂාවකින් සිටි විට දියට දැමු ඉබ්බා ”ඇන්නෑවේ” කීවා වැනි තත්වයක්ද, නැතිනම් කිසිඳු දැක්මකින් තොරව වරින් වර පැන නැගෙන රැලි වලට ජනප්‍රියවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමක්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුයි. කොහොම උනත් මේ ප්‍රශ්නයට පිළිතුර මරණ දඬුවමද? මීට පෙරත් මේ ගැන විවිධ අදහස් පල කළත් නැවතත් ඒ ගැන කතා කිරීමේ පාඩුවක් නෑ.

මරණ දඬුවම ඉල්ලා සිටින අයගේත් මරණ දඬුවම නුසුදුසු බවට මත පල කරන අප වැනි අයගේත් ලෝක දැක්ම එකිනෙකට වෙනස්. පළමු කොටස විශ්වාස කරන්නේ සමාජය තුළ වරදකාරී විභවයන් පාලනය කළ හැක්කේ බිය ගැන්වීමෙන් බව. වරද කළ කෙනාටත් වඩා අනෙක් අය වැරදි කිරීම වලක්වන්න දඬුවම හරහා බිය ගැන්වීමක් කල හැකි බව බොහෝ දෙනා විශ්වාස කරනවා. පසුගිය කාලයේ උද්ඝෝෂණ වලට සහභාගී වූ අයත් පැවසුවේ “අනෙක් අයට ස්ත්‍රියක් ළමයෙක් දෙස හැරී බැලීමටත් බය සිතෙන ආකාරයේ කෲර දඬුවම් මේ වරදකරුවන්ට ලබා දියයුතු බව”. ඇතැම් අය ප්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමීම වැනි දඬුවමුත් යෝජනා කළා. සමාජයක් යම් සිද්ධියකින් කම්පනය වූ විටෙක මෙවැනි ප්‍රතිචාර දැක්වීම අපට තේරුම් ගන්න පුළුවන්. මෙවැනි සමාජමය ඛේදවාචකයකදී නිහඬව නොසිට පාරට බැස ක්‍රියාකාරී වීමත් අපි දකින්නේ ධනාත්මක කෝණයකින්. එවැනි අපරාධ යලි සිදුවීම වැලැක්වීම සඳහා ප්‍රජාවට ඇති උනන්දුව සහ ක්‍රියාකාරීත්වය ගැනත් අපට සතුරු අදහසක් නෑ. නමුත් අපරාධ වැලැක්වීම, විශේෂයෙන් ළමා අපචාර වැනි මනුෂ්‍යත්වයට නොගැලපෙන අපරාධ වැලැක්වීම සඳහා මරණ දඬුවම හෝ වධ බන්ධන පැමිණවීම ඉතාම ප්‍රාථමික අදහසක් බවයි අපේ දැක්ම.

දැන් අපි සිතන ආකාරය සහ අපේ ලෝක දැක්ම පැහැදිලි කර ගනිමු. අපි මේ අපරාධකාරීත්වය, අරාජිකත්වය සහ සමාජමය කෲරත්වය අනුමත කරන්නේ නෑ. ඒත් ඒ අපරාධකාරීත්වය ඒ අපරාධ කරන අයගේ ජානගත ප්‍රවේණික උරුමයක්ද, නැතිනම් එම අපරාධකාරීත්වය ජනනය වෙන්නේ සමාජමය සාධක වලින්ද? ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය, සංස්කෘතිය වගේම වෙළඳපල සාධකත් මේවාට පුද්ගලයන් තල්ලු කරන්න දායක වෙන්නේ නැතිද? අපි සිතන ආකාරයට මේ අපරාධ වැලැක්වීම බියගැන්වීම හරහා කරන්න බෑ. එලෙස කෲර දඬුවම් හරහා බිය ගන්වන රටවලත් අපරාධ අඩුවෙලා නෑ. වැරදි වැළක්විය හැක්කේ වැරදි සඳහා බලපාන සමාජමය මූලයන් කරාම ගොස් ඒවා නිරාකරණය කරන දේශපාලන වැඩ සැලැස්මක් හරහා. අපි පෙනී ඉන්නේ එවැනි දේශපාලනයක් සඳහා. අපි නිදසුනක් ගෙන බලමු. තමන්ගේ ලිංගික ආශාවන් සඳහා පහසුවෙන් යටපත් කරගත හැකි කුඩා ළමුන් යොදා ගන්නා කෙනෙකු හෝ ස්ත්‍රියක් ඇගේ අකමැත්ත නොතකා බලහත්කාරයෙන් එවැනි ක්‍රියාවකට යොමු කර ගන්නා කෙනෙකු දෙස බලමු. ඔහු සිතන්නේ ”මගේ ආශාවන් තෘප්ත කර ගැනීම” ගැන පමණයි. එය සිදු කරද්දී අනෙක් කෙනාට එයින් වන බලපෑම ඔහුට අදාළ නෑ. අනෙකාගේ ජීවිතය, මානසිකත්වය, ශරීරය ගැන ඔහුට වගකීමක් නෑ. ඔහුගේ දර්ශනය, ”මගේ උවමනාවන් සපුරා ගැනීම ප්‍රධානය, අනෙක් අය ගැන මට අදාළ නැත.” මේ දර්ශනය හුදු අපරාධකරුවෙකුගේ සිතේ පමණක් හට ගන්නා අහම්බයක් නෙවෙයි.

අපි ජීවත් වන සමාජ ක්‍රමයේ මිනිසුන් පුහුණු කරන්නේ ආත්මාර්ථයට, සමාජය ගැන, පරිසරය ගැන වගකීම් විරහිත භාවයට. අද මරණ දඬුවම ගැන කියන දේශපාලන නායකයන්ගේ සිට, කම්පනය ප්‍රකාශයට පත්කරන ආගමික නායකයන්ගේ සිට, කිඹුල් කඳුළු සලමින් ඒ කඳුළු විකුණා ගන්නත් සැරසෙන මාධ්‍යවල සිට, රූපවාහිනී කැමරා ඉදිරිපිට ආවේගශීලී අදහස් ප්‍රකාශ කරන ජනතාව දක්වා හැම දෙනාම මේ ලෝක දැක්ම පෝෂණය කරනවා. අනුමත කරනවා. එය පවත්වාගෙන යනවා. ළමා අපචාර සහ ස්ත්‍රී ලිංගික හිංසන කියන්නේ මේ කාලකන්නි ලෝක දැක්ම අතිශය ම්ලේච්ඡ ලෙස පුපුරා යන එක් අවස්තාවක්. එය එතරම් සමාජ අවධානයකට පාත්‍ර නොවී වෙනස් ක්ෂේත්‍ර වල විවිධ ආකාරයෙන් දිනපතාම පුපුරා යනවා.

ඒ නිසා මේ සමාජ මූලයන් සමග සටන් නොකර, එය තේරුම් නොගෙන, මේ සමාජය විසින්ම මානසික විකෘතියකට ගොදුරු කළ කෙනෙකු හෝ දෙන්නෙකු මරා දමලා ප්‍රශ්නය විසඳන්න බෑ. නස්රුදීන්ගේ කතාවෙන් කියනවා වගේ නීතියෙන් හැම ප්‍රශ්නෙම විසඳන්නත් බෑ. ඒක හරියට දියවැඩියා රෝගියෙකුගේ තුවාලයට දිනපතා බෙහෙත් දානවා වගේ තාවකාලික උත්තරයක්. රෝගය සනීප නොකොළොත් තුවාලයේ ඉවරෙකුත් නෑ. බෙහෙත් දැමීමේ ඉවරෙකුත් නෑ. සේයා ඝාතනයේ සැකකරුවන්ගේ පරිඝනක තුළ නිල් චිත්‍රපට තිබු බව පොලීසිය කියනවා. ඒවා ඔවුන් රූගත කරපුවා නෙවෙයිනේ, මෙතන සමාජමය මැදිහත්වීමක් තිබෙනවා.

ඒක වටහා නොගෙන වලිගෙන් අල්ලලා උත්තර හොයන්න බෑ. හොරුයි, කාමාතුරයෝයි, අරාජිකවාදියෝයි, කැරලි කරුවෝයි, මානසික රෝගීනුයි මේ හැම දෙනාම මරා දැමුවාට පස්සේ සමාජය පිරිසිදු වෙන්නේ නෑ. අනෙක් එක මරණ දඬුවම දඬුවමක් නෙවෙයි, පලි ගැනීමක්. දඬුවම ගැන තිබෙන ශබ්ද කෝෂ අර්ථ වලට අනුව ගත්තත් දඬුවමේ අරමුණ ප්‍රතිශෝධනය සහ පුනරුත්ථාපනය මිස පලිගැනීම නෙවෙයි. අපි මේ අපරාධ වගේම ඒ අපරාධ වලට සමාජය යෝජනා කරන ප්‍රාථමික උත්තරත් ගන්නේ මුළු සමාජයම කොට්ට උරයක් කණපිට හැරෙව්වා වගේ පරිවර්තනයකට භාජනය නොකර ඉදිරි පැවැත්මක් නැති බව අපට සිහිපත් කරන්න නාද වෙන එලාම් ඔරලෝසු සීනු නාදයක් විදියට. මේ ව්‍යසනයේ අපි හැම දෙනාම, සමස්ත සමාජයම වග උත්තරකරුවෝ. ඒ නිසා අපරාධයට හවුල් නැති කෙනෙක් ඇවිල්ලා පළමු ගල ගහන්න. නැතිනම් එල්ලූම් ගහේ ලීවරය අදින්න.

පුබුදු ජයගොඩ

lowandlife.lk

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.