Menu

logo new 2015-5-11

ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016)

ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016)

1850 න් පසුව ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල දාමරිකත්වයට ලැබෙන්නේ සමාජ වටිනාකමකි. තුවක්කු අතේ තබාගත් දාමරිකයන්ට, අපරාධකරුවන්ට බයපක්ෂපාතී සමාජයක් තුල බොහෝ දෙනෙක් තමන්ගේ ආරක්ෂාව තමන් සම්පාදනය කරගත යුතුයි යන තැනට යොමුවුණි. ලංකාවේද වරක් එක් රාජ්‍ය නායකයෙක් ජනතාවට කියා සිටියේ “තමන්ගේ ආරක්ෂාව තමන් බලාගත යුතුය “ යනුවෙන්ම නිසා ඇමරිකාව ගැන එතරම් පුදුමවිය යුතු නැත. රෝස් ක්‍රීක් නම් වූ සුන්දර ග්‍රාමය ඇමරිකාවේ උතුරුදිග පතල් හා කැණීම් සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ ප්‍රදේශයෙකි. අමදෝර්,වොල්කැනෝ ස්ප්‍රින්ග්ස් වැනි ආසන්න ප්‍රදේශ මෙන්ම රෝස් ක්‍රීක් ප්‍රසිද්ධවූයේ රන්,රිදී වැනි ලෝහ බහුලව හමුවෙන්නාවූ ප්‍රදේශයක් ලෙසින්ය. කාර්මික විප්ලවයෙන් පසු පතල් කර්මාන්තයට ලැබෙන්නාවූ ආර්ථිකමය වටිනාකම ඉහළයාම සහ ඇමරිකාව ලොව කැනීම් ක්ෂේත්‍රයේ ප්‍රබලතමයා බවට පත්වීම සමග දකුණුදිග ඇමරිකානු වෙළෙන්දන් පතල් ව්‍යාපාරිකයන් ලෙස උතුරුදිගට සේන්දුවීම ආරම්භවිය. එපමණක් නොව එම පළාත්වල ජනතාව බියවද්දමින්,බලෙන් ඉඩම් අත්පත්කරගනිමින් පතල් කර්මාන්තයේ යෙදීම නිසා එම ප්‍රදේශවල ස්වදේශිකයන් ඇතුළු පිරිසට සිදුවූයේ දැඩි භිෂණයකට මුහුණදීමටය.

බර්තොලමියුම් ‍බොග් නැමති සාහසික පතල් ව්‍යාපාරිකයා හා ඔහුගේ දාමරික කණ්ඩායමේ ආධිපත්‍යයට නතුවූ රෝස් ක්‍රීක් ග්‍රාමයේ වැසියන් ඔහුට එරෙහිව නැගී සිටීම නිසා සමූල ඝාතනයට ලක්වේ. ඒ අතර එම්මා නම් තරුණියගේ ස්වාමි පුරුෂායාද වේ. ආගම ධර්මය පවා තඹයකට නොතකන බොග් ගමේ පල්ලියටද ගිනි තබන්නට අණ දෙන්නේ තමන්ගේ කෲරත්වයට ගමම යටකරමින්ය. ගමේ නිල ෂෙරිප්වරයා පවා බොග් ගේ සල්ලිවලට සහ ආධිපත්‍යට නතුව තිබෙන්නේ එකල සමාජය තුල දාමරිකත්වයට හිමිවූ තැන අදට වඩා ලොකු වෙනසක් නොමැති බව පෙන්වමින්ය.

රෝස් ක්‍රීක් අසල අමදෝර් ගම්මානයට පැමිණෙන චෙසම් නම් නිලලත් වරෙන්තු නිලධාරියාගේ දක්ෂතා දැක ඔහුගෙන් උපකාර ලබාගැනීමට රෝස් ක්‍රික් ගම්මානයේ එම්මා සහ ටෙඩී තමන් සතුව ඇති එකතුකල මුදල් ප්‍රමාණය ඔහුට දීමේ පොරොන්දුව මත බොග් සහ දාමරිකයන්ට එරෙහිව සටන් කිරීමට චොසම් කැමතිකරවා ගනී. එහෙත් චෙසම් මුදලට එහා ගිය කැමැත්තකින් එයට සම්මාදන් වෙන්නේ චෙසම්ට බොග් සමග ඇති පැරණි වෛරයක්ද ඇති නිසාවෙන්ය. තනිවම බොග් හා සටන් වැදීම සියතින් ගෙල සිඳගැනීම වැනි ක්‍රියාවක් බව දැනගෙන සිටි චෙසම් තමන්ගේ මතක ගබඩාවේ ඇති තමන් හා සමග අවියෙන් සටන්කල හැකි විශිෂ්ටයන් සෙවීමට එම්මා සහ ටෙඩීගේ උපකාර ලබාගනී.

පැරඩේ නම් සූදු අන්තුවා, ගුඩ් නයිට් නම් මැදිවියේ දක්ෂ වෙඩික්කරුවා, බිලී නම්වූ ශුර ආසියාතික පිහි සටහන් කරුවා, වැසෙස් නම් මෙක්සිකානු දාමරිකයා, හොර්න් නම්වූ බර අවි හැසිරවීමේ ශූරයා, රෙඩ් නැමති ස්වදේශීක දුනුවායා සමග එක්වන චෙසම් රෝස් ක්‍රීක් ග්‍රාමයට කඩා වැදී බොග් ගේ ආධාරකරුවන් ඝාතනය කල ගම සියතට ගනී. ඉන් අනතුරුව ගම්වැසියන් සමග එක්ව සැලසුම්සහගතව සටන් වදින්නට උත්සහකරන්නේ බොග් ගේ පාලනයෙන් ගම සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීමටය. මේ කතාවේ කෙළවර ඔබ අපේක්ෂකරන පරිද්දෙන් අවසාන නොවනු ඇත. එහෙත් මිනිත්තු 133 ක් පුරා දිවෙන The Magnificent Seven චිත්‍රපටය යනු 2016 වර්ෂයේ නිර්මාණයවූ ක්‍රියාදාම චිත්‍රපට අතරින් ඉහළින්ම තැබිය හැකි සිනමා නිර්මාණයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය.

ඇන්ටනී පූක්වෝ ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය Seven Samurai ජපන් චිත්‍රපටයේ ආකෘතියට 1960 වර්ෂයේ නිර්මාණය වූ The Magnificent Seven චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් විශිෂ්ට රංගනය, දෘශ්‍ය ප්‍රයෝග සහ ඉතා ආකර්ශණීය රූප රාමු පමණක් නොව මනබඳින සටන්කාමී සංගීතයද සමග The Magnificent Seven සිනමා පටයට ලැබෙන්නේ ඉහළ වටිනාකමකි. මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණය ඉතා ඉහළ මට්ටමේ එකක්වන අතර එහි සංගීත අධ්‍යක්ෂකවරයා වූ ජේම්ස් හෝනර් චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකරමින් සිටින අතරතුරේදීම හදිසියේ ජීවිතයෙන් සමුගනී, නමුත් එම අහිමිවීම චිත්‍රපටයේ ගුණත්වයට හානියක් නොවන්නට කටයුතු සිදුකල ඔහුගේ මිතුරු සයිමන් ෆ්‍රැන්ගලන් චිත්‍රපටයේ ඉතිරි කොටසට සංගීත අධ්‍යක්ෂණය ලබාදීමට කටයුතු කලේ ජෙම්ස්ට නොදෙවනි ආකාරයෙන්ය.

The Hurricane වැනි චිත්‍රපටවල දක්ෂ රංගනයක නිරතවූ ඩෙන්සිල් වොෂින්ටන් The Magnificent Seven චිත්‍රපටයේ රංගනයේ නිරත වෙද්දී වයස අවුරුදු 60 කි. එහෙත් චිත්‍රපටය පුරාවට තරුණයෙක් පරිද්දෙන් රංගනයේ නිරත වෙන ඔහුගේ වයසට කිසිවිටක ඔබට නිගමනය කල නොහැකිවනු ඇත. 2016 වසරේ ම The Passenger චිත්‍රපටයේත් රංගනයෙන් දායක වෙන අග්‍රගන්‍ය හොලිවුඩ් නළු ක්‍රිස් ප්‍රැට් මෙන්ම ඊතන් හෝව්ක් නැමති විශිෂ්ට රංගන ශිල්පියාගේ දායකත්වය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට සුවිශේෂී හේතුවක් විය. Red චිත්‍රපට මාලාවේ සුප්‍රසිද්ධ කුලී ඝාතකයාගේ චරිතය දැරූ ලී බන් යුන් මෙම චිත්‍රපටයේ තමන්ගේ චරිතයට ඉහළ සාධාරණයක් ඉටුකරනු ලබයි.

චිත්‍රපටය පුරාවටම පෙන්වන්නේ නවසීය ශතවර්ශයේ අගභාගයේ ඇමරිකාවේ ජනතාව ආයුද සම්බන්ධයෙන් දැඩි විශ්වාසය තබා කටයුතු කල ආකාරයයි. එසේම මේ The Magnificent Seven චිත්‍රපටයේ වීරයන් හත්දෙනා මුදල නොව තමන්ගෙන් ඉටුවිය යුතු ජනතාවාදී වගකීම ඉටුකිරීමට දිවිහිමියෙන් කටයුතු කල බවට ඉතා හොඳ සාක්ෂි එක්කර ඇත. සමස්තයක් ලෙස ගත්කල The Magnificent Seven යනු අප නොදුටු අතීතයක සංවේදී කතා පුවතක් අපේ නෙත් ඉදිරිපිට මවන මැජික් දර්ශනයක් හා සමානය. එහි විශේෂත්වය වන්නේ කිසිඳු විටක අප චිත්‍රපටයක් බලනවා යන හැඟීම හෝ කම්මැලිකමක් නොදැනීමය.

2016 සැප්තැම්බර් 8 ටොරන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙල අවස්ථාවේ ප්‍රදර්ශනය ආරම්භකල මෙම චිත්‍රපටය 2016 වසර අවසන්වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 160.4 ක ආදායමක් උපයා තිබුණේ බොක්ස් ඔෆීස් වාර්තා බිද දමමින්ය. චිත්‍රපට උළෙල ගණනාකවම සම්මාන සඳහා දැනටම නිර්දේශවී ඇති මෙම චිත්‍රපටය 2016 ඇකඩමි සම්මාන සහ ඔස්කාර් සම්මාන උළෙලවල ප්‍රධානතම තරඟකරුවෙක් වනු නියතය.

උපුටා ගැනීම - struggle.lk/archives/384

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.