Menu

logo new 2015-5-11

ඩිල්ෂාන්ගේ අවසන් දවස

ඩිල්ෂාන්ගේ අවසන් දවස

පුරා වසර 17ක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ක්‍රිකට් තරගය කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ඇරැඹෙයි. පළමු විස්සයි20 තරගයෙන් වාර්තාගත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානු පිල අද දෙවැනි විස්සයි20 තරගයේදී පරාජය කොට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා තම සහෘදයාට ගෞරවයක් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එකම අරමුණවී තිබේ. ඒ සඳහා ශක්තිමත්ව මුහුණදීමේ හැකියාව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සතුව ඇතැයි ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුහුණුකරු ග්‍රේම් ෆෝඩ් මහතා පැවැසීය.

ටෙස්ට් තරගාවලිය ජයගෙන එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකම පරජයවීමට නොහැකි බැවින් අද තරගය ජය ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා පුහුණුකරුගේ මතය විය. ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් කවුරුන්ද යන්න අද තරගය ආරම්භයට පෙර අවසන් තීරණයකට එළැඹෙන බව ෆෝඩ් මහතා පැවැසීය.

“ඩිල්ෂාන්ගේ සමුගැනීම අද තරගයේ විශේෂ සිදුවීමක්. ඔහු නායකත්වයේ සිටියදී මා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළා. ඔහු නායකයෙකු හා ක්‍රීඩකයෙකු හැටියට සියයට සියයක්ම සාර්ථක කෙනෙක්. එ බව මා හොඳින් දැක තිබෙනවා. ඔහුගේ අඩුව පිරවීමට දක්ෂ ක්‍රීඩකයෙක් ගොඩනැගිය යුතුයි” ෆෝඩ් මහතා පැවැසීය.

ඩිල්ෂාන් විස්සයි 20 ක්‍රිකට් තරගවලදී දැනට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරු (ලකුණු 1888) වන අතර අර්ධ ශතක 13ක් ලබා විස්සයි 20 වැඩිම අර්ධ ශතක ලැබූ ශ්‍රී ලංකා පිතිකරු ලෙසද සිටී. එමෙන්ම උඩ පන්දු 26ක් අල්ලා වැඩිම උඩපන්දු ලබාගත් ක්‍රීඩකයා ලෙසද අවස්ථා 10කදී ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව වැඩිම බින්දු ගණනක් විස්සයි20 පිටියේ සටහන් කළ ශ්‍රී ලාංකික පිතිකරු ලෙසද ඩිල්ෂාන්ගේ නම වාර්තා පොතේ ලියැවී ඇත.

“අපට දිගින් දිගටම පරදින්න බෑ. අවම වශයෙන් විස්සයි20 තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගත යුතුයි. ඒ සඳහා අද තරගය ජය ගත යුතුයි. ඒක අපේ ක්‍රීඩකයන්ට අවශ්‍යම දෙයක්. ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් පාලනය කිරීම වැදගත් වෙනවා. ඔහු දඟ පන්දු යවන්නන්ටත් දැන් හොඳින් පහර දෙන නිසා අපේ පන්දු යවන්නන් මනා පාලනයක් ඇති කරගත යුතුයි. මැක්ස්වෙල් සෑම අතකින්ම සාර්ථක පිතිකරුවෙක්. හතර වටේටම ගහන නිසා පන්දු යවන්නන්ට ඔහු සත්තකින්ම අභියෝගයක්” ශ්‍රී ලංකා පුහුනුකරු පැවැසීය.

පළමු විස්සයි 20 තරගයේදී 27 හැවිරිදි ග්ලේන් මැක්ස්වෙල් පන්දු 65කදී නොදැවී ලකුණු 145ක් ලබාගත් අතර එයට හතරේ පහර 14ක් හා හයේ පහර 9ක් ඇතුළත් විය. ඔහු සචිත්‍ර සේනායකගේ පන්දුවලට හයේ පහර 5ක් එල්ල කර අතර සචිත්‍ර පතිරණටද හයේ පහර දෙකක් එල්ල කළේය.

ලක්මාල්, රජිත හා තිසර යන මද වේග පන්දු යවන්නන් තිදෙනාගෙන්ද මැක්ස්වෙල් හයේ පහර 7ක් ලබාගත්තේය. ඔහුගේ මේ දක්ෂතාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පළමු තරගයෙන් ලකුණු 85ක ජයක් හිමි විය. එම තරගයේදී චන්දිමාල් ලකුණු 58ක් හා කපුගෙදර ලකණු 43ක් ලබා ගත්හ.

ඔස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් පවසන්නේ ටෙස්ට් තරගාවලිය පරාජය වුවද එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකම ජය ගැනීම අරමුණවී ඇති බවයි. “විස්සයි20 තරගාවලියත් අප ජය ගන්නවා. අපේ ඉදිරි පෙළ ශක්තිමත්. එමෙන්ම පන්දු බළ ඇණිය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. දැන් අප ඉන්නේ හොඳ සමබර තත්ත්වයක” ඔස්ට්‍රේලියානු පුහුණුකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිල විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග හැර සියලු තරග පරාජයවූ අතර එයින් අනතුරුව සහභාගීවූ තරග දෙකක්ද පරාජයවී සිටී. ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් නොලබා ඉවතට ගිය අතර ඉන් පසුව සහභාගීවන පළමු විස්සයි 20 තරගාවලිය මෙය වේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.