Menu

logo new 2015-5-11

කුලියට මිනීවලවල් කපන ලංකාවේ පාපන්දු නායකයා - (බලධාරීන්ගේ ඇස් ඇරීම පිණිසයි )

කුලියට මිනීවලවල් කපන ලංකාවේ පාපන්දු නායකයා -  (බලධාරීන්ගේ ඇස් ඇරීම පිණිසයි )

මිනීමල්වලින් සැරසී හුන් දඩල්ල කනත්ත මද්දහනේ හිරු එළියෙන් නැහැවී තිබුණේය. කනත්ත ඉදිරියෙන් ඇත්තේ පීත්ත පටියක් සේ දිවෙන ගාලු පාරය. පාරේ ඉම මහ මුහුදය. රළ පහරින් කැළැතී ඝෝෂා දෙන සයුරු දියවර සේ චන්නගේ සිතුවිලි කැළැතෙන්නට විය.

සොහොන් බිමෙහි කිසිවකු නොවූවද පෙළට ඇති සොහොන් කොත් යට අඩි පහක් ‍පොළොව කුහරයක කවරකු හෝ සදාකාලිකව සැතපෙන බව දැනී චන්නට දැනුණේ ශෝකයකි. සියල්ලන් හැර දමා ගිය බිම් කඩේ තමා තනිවුවද, කනත්තට අල්ලපු වැටේ වූ පාපන්දු ක්‍රීඩාංගණයේ අසිරිය නෙත ගැටෙද්දී චන්නට තනිකමක් නොදැනේ.
පාපන්දුව වෙනුවට උදැල්ල අතට ගත් චන්න තමන්ට පැවැරුණු මුල්ම රාජකාරිය ඉටුකිරීමට පටන් ගත්තේය. කාත් කව්රුවත් නැතිව මියගිය මහලු මිනිසකුට අවසන් වරට නිදන්නට, චන්න සිය දෑතේ විරිය ගෙන මිනී වළක් කපන්නට ගත්තේ හදවත ගිනි ගනිද්දීය. පුංචි පැලක තනිව සිටින මව්පියන් චන්නට සිහිපත් වූයේ නොදැනුවත්වමය.
“කාගේ හරි තාත්තා කෙනෙක් නේද?”
හදවත කොඳුරද්දී චන්න වැර යොදා මිනී වළ කණින්නට විය. කලකින් වැසි නොලද පසෙහි වූයේ දැඩි බවකි. ගැඹුරට කණින්නට අවැසි වුව තද පස හා ගැටීම චන්නට එතරම් හුරු නොවීය. පාපන්දුව නිරතුරුව රැඳුනු දෑත මෙන්ම පිටිය පුරා පන්දුව රැගෙන ගිය ඔහුගේ පාද වලද වූයේ දුහුවිලි පිරි පස් තට්ටුය.
දහදිය පිස දමමින් සිය රාජකාරියේ නිරත වුවද චන්නගේ දෑස් විටින් විට යොමු වූයේ ඇස් පෙනෙන මානයේ වූ පිටියටය. මොනතරම් දාහයක් දැනුණද, හදවතින් ක්‍රීඩා පිටියේ තනිවී සිටි චන්නට දහවල උණුසුම නොදැනුණේය.
නිතර දෙවේ‍ලේ තම පය ගැටුණු පාපන්දු ක්‍රීඩා පිටියේ උණුසුම චන්නට ගෙන ආවේ සියුම් වේදනාවකි. සිය සගයින් සමග කලක් ස්පර්ශ කළ ‍පොළොවේ මතක දැන් ඇස්පනාපිටම වැසී ගොසින්ය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගාලු ටවුමේ පිට්ටනිය සින්න වූ පසු පාපන්දු ක්‍රීඩා පිටිය ගාල්ලේ දඩල්ල සොහොන් බිම ආසන්නයට විසි වූයේ ඉබේටමය. පුරුදු පිටියේ උණුහුම තම දෙපයට නොදැනුණද, දඩල්‍ලේ ඉදිවූ පාපන්දු ක්‍රීඩා පිටියද චන්නට හුරුපුරුදු තැනක් වූයේය. ජීවත් වීම සඳහා රැකියාවක් සොයා ආගමන, තම සුපුරුදු ක්‍රීඩා පිටිය ඉදිරියේම වීම චන්නගේ ෙදෙවයය. තමන් මහත් සේ ආදරය කළ ක්‍රීඩා පිටිය ඉදිරිපස ඇති සොහොන් බිමේ ජීවත් වීම සඳහා මිනී වළවල් කැපීමට සිදුවේ යැයි චන්න කිසිදා නොසිතුවේය.
එහෙත් ෙදෙවය මිනිසා සමග සරදම් කරන්නේ නොකියාමය. චන්නටද අද ඒ ‍පොදු ධර්මතාවය ඉදිරියේ පෙනී සිටින්නට සිදුව ඇත. මඳකට කැපූ මිනී වළින් මතුපිටට ආ චන්න උදැල්ල පසෙක තබා නැවතත් ක්‍රීඩාංගණය දෙස බැලුවේ හදවත ප්‍රීතියෙන් ඉතිරෙද්දීය. ‍පොඩි එවුන් කීප දෙනෙකු ක්‍රීඩාංගණය තුළ පාපන්දුවක් සමග එහෙට මෙහෙට දිව යන අයුරු දකිද්දී තමාගේද ලෙයද උණුසුම් වන බව චන්නට දැනුණේය.
මිනී වළ දෙපස ගොඩ ගැසුණු පස් අතර එහෙට මෙහෙට පනිමින් පස් කැටියක් සමග දඟ කල චන්න ඉදිරියට පැන පස් කැටියට පා පහරක් දුන්නේ ගෝලයට විදින පා පන්දුව පරිද්දෙනි. පස් කැටිය බිඳී විසිරෙද්දී චන්නට සිය බලා‍පොරොත්තු බිඳී විසිරුණු ආකාරය සිහිපත් වූයේය.
දකුණු පළාතට කීර්තියක් අත්කර දෙමින්, මුලින්ම රන් පදක්කම් තුනක් දිනාගත් ආකාරය චන්නගේ දෑස් ඉදිරිපිට මැවෙන්නට වූයේ නොදැනීමය. පාපන්දු ක්‍රීඩකයෙක් වීමේ ආශාවෙන් පෙළුණු තම කුඩා විය, දුක් කම්කටොළුවලින් පිරී තිබුණද, තම සිහිනය මුදුන් පමුණුවා ගැනීම සඳහා ගත් වෙහෙස කොතරම් සුන්දර දැයි චන්නට යළි යළිත් සිහිපත් වූයේය.
පාපන්දුවෙන් සිය ජීවිතයේ ඉසුරු සොයන්නට නොහැකි වුව, ලංකාව නමින් තමන් දුන් රන් සිහිවටන කිසිදා නොමියෙන වග ඔහු දැන සිටියේය.
“මං තියපු රෙකෝඩ් කවදා හරි මිනිස්සු මතක් කරාවි.”
හදවතට දිරි දෙමින් චන්න තමන්ටම කොඳුරා ගත්තේය. ක්‍රීඩාංගණය දෙස බැලූ ඇස් ඉවතට ගත්, චන්න යළිත් මිනී වළට බැස්සේ එහි ගැඹුර පිරික්සීමට මෙනි. ගැඹුරට කැපුනු වළ තුළ එහෙට මෙහෙට ඇවිදිමින් මිනී වළෙහි දිග පළල බැලූ චන්න සිය රාජකාරිය නිවැරදිව වී දැයි නැවතත් පරීක්ෂා කරන්න වූයේ තම පළමු රාජකාරියේ කිසිදු පළුද්දක් ඇති නොවීමටය.
“මල්ලියෙ උඩට වරෙන් ඕක ඇතුළේ හිටිය මදෑ”
චන්න සමග අනියම් කම්කරුවෙකු ලෙස සේවයේ යෙදෙමින්, දඩල්ල සුසාන භූමියේ සිටි සගයෙකු කෑගැසුවේ දහවල කෑම විවේකයද ගෙවී ගොස් බොහෝ වේලාවක් ගතව තිබූ බැවිනි.
අලුත කැපූ මිනී වළෙන් ගොඩ ආ චන්න ඇඟපුරා වූ පස් පිසදමමින් සොහොන් ගෙය වෙත දිව ගියේ කඩිනමිනි.
අයියෙ ‍පොඩි උන් දෙන්නාව ඉස්කෝලෙන් ගන්න ඕන. මං ඉක්මනින් එන්නම්.”
ගුරුවරයෙකු ලෙස සේවය කරන තම මිතුරෙකු වූ කුමාර ටික දිනක් පාවිච්චි කිරීමට දුන් මෝටර් බයිසිකලයේ නැගුණු චන්න කිතුලම්පිටිය ආනන්ද විදුහලින් පහ වසරේ ඉගෙනුම ලබන ‍පොඩි දුව බයිසිකලයට නංවා ගත්තේය. රිපන් බාලිකාවේ හය වසරේ ඉගෙනුම ලබන ලොකු දූ මග බලමින් සිටින බව දැනගත් චන්න බයිසිකලයේ වේගය වැඩි කළේ දරුවන් දෙදෙනා හැකි ඉක්මනින් අම්බලන්වත්තේ කුලී නිවසට ඇරලවා නැවත රාජකාරියට යාමටය.
පාන්දර පින්න වැටෙන්නටත් පෙර පිබිදී දරුවන්ද පාසල්වලට ඇරලවා හතේ කනිසම වැදීමටත් පෙර අනියම් මුරකරුවෙකු ලෙස අත්සන් තැබිමට ගාල්ල නගර සභාවට පැමිණෙන චන්න, ජාත්‍යන්තර ක්‍රීඩාපිටිවලදී පාපන්දුවෙන් රටක් නැළවූවකු බව දන්නේ අතළොස්සකි. සිය වෘත්තියෙන් කෝටි ගණන් හරි හම්බ කිරීමට හැකියාව නැතිබව දැන් චන්න හොඳාකාරයෙන්ම දන්නේය.
විදේශයන්හි පාපන්දු ක්‍රීඩකයින් වෙනුවෙන් කෝටි ගණනින් ලන්සු තැබෙන ආකාරය දකින විටදී චන්නට දැනෙන්නේ වේදනාවකි. පාපන්දු ක්‍රීඩාවට උමතු වූවන් සිටින ලොවක ලංකාවේ චන්න මිනී වළවල් කපන්නේ බඩ ගින්දර නිවා ගැනීමටය. ඒ සිරි ලංකාවේ හැටිය. කෝටි දෙසීයට තුන්සීයට ජාත්‍යන්තරය තුළ ලන්සු තබන රොනල්ඩෝලා, ලයනල් මෙසීලා, දකිද්දී නම් ගාල්ලේ චන්නට බ්‍රසීලය හෝ ආජන්ටිනාව තම මව්රට වූයේ නම් කොතරම් අගනේදැයි සිතෙන්නට ඇත.
එහෙත් යථාර්ථයෙන් මිදීමට ඔහුට හැකියාවක් නැත්තේය.
සිවු මසක් පුරා ගාල්ලේ දඩල්ල සොහොන් බිමේ අලුතින් මිනී වළවල් කපමින් තණ කොළ සුද්ද කරමින් චන්න මේ සටන් වදින්නේ ලොකුම රකුසා වූ බඩගින්නට එරෙහිවය.
“උඹට දුක නැද්ද මල්ලියෙ?”
විටෙක දන්නා හඳුනන මිත්‍රයෙකු හෝ රසිකයෙකු මගතොටදී හමුවී විමසද්දී චන්න හිනැහෙන්නේය. පාපන්දුවෙන් බඩගිනි නිවීමට නොහැකි බව ඔහු දන්නේය. තමා එනතුරා අම්බලන්වත්තේ කුලී නිවසේ මග බලන දයාබර බිරිඳ මෙන්ම සිඟිති දියණියන් තිදෙනාව බඩගින්නේ තැබිමට චන්නට කිසිසේත්ම හැකියාවක් නැත. කුලී වැඩ කරන පියා මෙන්ම මවගේ ජීවිතයටද නැගණියගේ අනාගතයටද මහ මෙරක සිහින ගොඩ ගසන්නට චන්නට නොහැක්කේද එහෙයිනි.
දිනකට රුපියල් දහසක් ගැනීමට චන්න අතේ කරගැට එනතුරා පාළු සොහොන් බිමේ මිනී වළවල් කපන්නේ සැමියෙකුගේ පියෙකුගේ මෙන්ම පුතකුගේද යුතුකම් ඉටුකිරීමටය. සිඟිති දරු පැටවුන් මෙන්ම තරුණ පිරිස්ද තමන් කැපූ වළක නිදන්නට එද්දී චන්නගේ හිතට අස්වැසුමක් නම් නැත.
“සෙල්ලම් කරන්න ලැබෙන දවස්වලට ඔයා කුලී වැඩ කරන්න එපා... අපි නිසා ඔයාගෙ හීනෙ නැතිවෙනවා නේද?”
බඩගින්දර දැනුණද ඒවා සඟවන බිරිඳගේ දයාබර වදන් අස්සේ ඇති කඳුළු ගංගාව චන්න නොදැක්කා සේ සිටින්නේ වාවාගත නොහැකි දුකකින්ය.
දෙවරක් නොසිතා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පාපන්දු ක්‍රීඩකයා හා විවාහ වීමට තරම් සංවේදී වූ තම බිරිඳ කෙරෙහි චන්නගේ සිතේ ලියලන්නේ මහ මෙරක තරම් ආදරයකි. රන්, මුතු, මැණික් නැති ලොවක සියලු අඩුපාඩු විඳ දරා ගනිමින්, තමන්ට මග කියන බිරිඳ නම් චන්නට සිතූපැතූ සම්පත් දෙන සංඛයක් බඳුය.
“ගෑනියෙක් විදියට ඒකි පුදුම දුකක් විඳිනවා බං දරුවන්වත් හදාගෙන, තියෙන දෙයක් කාලා අඩුපාඩුවක් නොකියා මාත් එක්ක ජීවත් වෙන එකම ඇති.”
සමීපතම මිතුරකු වූ කුමාර මුණ ගැසුණු විටකදී චන්න දුක මුදා හරින්නේ සිතේ බර සැහැල්ලු කර ගැනීමටය. පවුල් ජීවිතයේ බර කරපිට පැට වී තිබියදී වුව කොළඹ පැවැත්වෙන පාපන්දු තරගයකට තමන්ව යැවීමට තරම් බිරිඳ සංවේදී වීම චන්නට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි.
කුඩා කාලයේ පටන් දියාගෝ මැරඩෝනාට මහත් සේ ඇලුම් කළ චන්න තමන් එකතු කරගත් ඔහුගේ සිහිවටන, සේයාරූ මෙන්ම ජීවන තොරතුරු ද තවමත් රකින්නේ බිරිඳට පින්සිදුවන්නටය.
ඔහුගේ සිහින ගැන ඔහුටත් වඩා බර උසුලන ප්‍රිය බිරිඳකගේ උණුහුම චන්නට ගෙන දෙන්නේ හෙට දවස ගැන අලුත් බලා‍පොරොත්තුවකි. මිනී වළවල් කපන තම දෑත් සිඹිමින් ඇය දෙන දිරිය ඔහුට යළිත් ජීවත් වන්න දිරියකි.
මට තාම අවුරුදු හතළිහක් නැහැ. මොන බාධක මැද්දේ වුණත් මං හතළිහ වෙනකම් සෙල්ලම් කරනවා.
චන්න හිතන්නේ එහෙමය.
මිනී වළවල් කැපුවට චන්නගේ ඇඟේ සිටින පාපන්දු ක්‍රීඩකයා තවමත් ජව සම්පන්නය. තමන් පණ මෙන් ආදරය කරන පාපන්දු ක්‍රීඩාංගණය පෙනි පෙනී එහි ඉදිරිපස ඇති සොහොන් බිමේ මිනී වළවල් කැපීමට චන්නට නම් ඇත්තේ අපූරු දිරියකි. උදෑසන දහදිය වගුරමින් මිනී වළවල් කපන චන්න, කෙටි නිවාඩුවක් දමා හවස පාපන්දු ක්‍රීඩාංගණයට දුවන්නේ තමන්ගේ ලෝකය සෙවීමටය.

එහි පේ‍ලේ හෝ මැරඩෝනා පෙනෙන්නට නොසිටියද ගාල්ල විද්‍යාලෝකයෙන් මෙන්ම ඕල්සන්ස් විදුහලෙන්ද පටන් ගත් ගමන් මගේ ඇති රන් සලකුණු චන්නට තවමත් දිරිය දෙන්නේය.
ජාතික ක්‍රීඩා උළෙ‍ලේදී මෙන්ම සාෆ් ක්‍රීඩා උළෙ‍ලේදී ද රනින් දිලුනු තම දක්ෂතාවන් සිහිපත් වෙද්දී චන්නට දැනෙන්නේ තමන් පිළිබඳ අභිමානයකි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරීමට තරම් වාසනාවන්ත වූ චන්න අද සොහොන් බිමක මිනී වළවල් කැපීම එක් අතකින් ෙදෙවයේ සරදමකි.
ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ පාපන්දු ක්‍රීඩාවෙන් කෝටිපති ක්‍රීඩකයින් බිහිවෙද්දී තමන්ගේ පවුල ජීවත් කරවීමට මිනී වළවල් කපන සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් සිටින්නේ නම් ඒ ලංකාවේ චන්න පමණක්ම විය යුතුය.

ධර්මා මොහොට්ටාල
ලක්බිම

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.