Menu

logo new 2015-5-11

'ශ්‍රී ලංකා ආර්ථිකය' රෝහල්ගත කළ රෝගියෙකි (රවී , ඉන්ද්‍රජිත් ගැටුම දුර දිග යයි)

'ශ්‍රී ලංකා ආර්ථිකය' රෝහල්ගත කළ රෝගියෙකි (රවී , ඉන්ද්‍රජිත් ගැටුම දුර දිග යයි)

IMF වැඩසටහනකට යොමුව සිටීම දුර්වල තත්ත්වයක්‌ පෙන්වන දර්ශකයක්‌

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි

ආසියාවේ ශතකය ලෙස හැඳින්වෙන මෙම කාලවකවානුවේදී ආර්ථික නියාමනයන්ට අනුව සැලකීමේදී දුර්වල තත්ත්වයක්‌ පිළිබිඹු කරනු ලබන දර්ශකයක්‌ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනකට යොමු වී සිටින ඇෆaගනිස්‌තානය හැරුණු විට එකම ආසියා පැසිෆsක්‌ කලාපීය ආර්ථිකය බවට ශ්‍රී ලංකාව පත් වූයේ මන්ද යන්න අප විසින්ම විමසිය යුතුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට සම්බන්ධ වීම රෝගී

තත්ත්වයෙන් රෝහල්ගත කිරීමකට සමාන කළ හැකිය. අප ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගියකු බවට පත්වී නොමැති නමුත් පැහැදිලිවම රෝහල්ගත කළ රෝගියකු බවට පත්ව ඇත. මේ සඳහා ලබාදිය යුතු ප්‍රතිකාරය අප දන්නා අතර එය දැනටමත් ආරම්භ කර තිබීම සතුටුදායක කරුණකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ද මේ වන විටත් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඇගයීමට ලක්‌කොට ඇත. රාජ්‍ය මූල්‍ය අංශයෙහි වැඩිදියුණු වූ ක්‍රියාකාරීත්වය, මෙම ප්‍රගතියෙහි වැදගත්ම අංශය වන බැවින් ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිතුමා සහ එතුමාගේ කාර්ය මණ්‌ඩලය විසින් සිදුකරනු ලැබූ කාර්යභාරය අගය කළ යුතුය. කෙසේ වෙතත් අප ඉදිරියේ පවත්නා අභියෝගය වනුයේ අපගේ ඉදිරි දැක්‌ම පිළිබඳව පැහැදිලි අවබෝධයකින්, ඉලක්‌කයකින් සහ අධිෂ්ඨානයකින් යුතුව අවශ්‍ය වෙනස්‌කම් ක්‍රියාවට නැංවීමයි. මෙම කාර්යය ජාතික ප්‍රයත්නයක්‌ තුළින් සිදුකළ යුතුව තිබේ.

(2017 ජනවාරි 03 දින මහ බැංකු මූලස්‌ථානයේදී මහ බැංකුවේ 2017 සහ ඉදිරිය සඳහා වන මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්‌ම ඉදිරිපත් කරමින්)

මහින්ද රාජපක්‌ෂ ආර්ථිකය අයිසීයූ එකට තල්ලු කරනකොට මහ බැංකු අධිපතිත් ඒකෙ ඇටෙන්ඩන් කෙනෙක්‌

රවි කරුණානායක මුදල් ඇමැති

තව එක ප්‍රකාශයක්‌ ඔබතුමාල අහන්න ඉස්‌සෙල්ල මම කියන්නම්. මහ බැංකුවේ අධිපති කියපු දේ මම හිතන්නෙ විකෘති කර ප්‍රකාශ කරල තියන බව තමයි මම විශ්වාස කරන්නෙ. නමුත් එතුමා මාධ්‍ය තුළින් කියල තියෙනව ආර්ථිකය අයිසීයූ (දැඩි සත්කර ඒකකයේ) නෙමෙයි ඉස්‌පිරිතාලේ ඉන්නේ කියල. ඔව් අයිසීයූ එකේ තමයි මහින්ද රාජපක්‌ෂ අපට භාර දුන්නේ. ආර්ථිකය අයිසීයූ එකට තල්ලු කරනකොට එතුමත් ඒකෙ ඇටෙන්ඩන් කෙනෙක්‌. එතුමා කිව්වම මහ බැංකුවේ අධිපති, එයත් හිටියෙ රාජපක්‌ෂලාගෙ මේව එකේ. එතකොට ඒක දැන් අයිසීයූ එකෙන් ඉස්‌පිරිතාලෙට ගෙනත් වැඩිකල් යන්නට පෙර අපි ඕපීඩී (බාහිර රෝගී අංශය) ට ගේනව. මෙන්න දෙක අතර වෙනස.

මෙතන තිබෙන්නේ මහ බැංකුවේ තිබෙන දේ නෙවෙයි, ආණ්‌ඩුවේ ජනාධිපතිට සහ අගමැතිට අවශ්‍ය සංවර්ධන කටයුත්ත ඉදිරියට ගෙනියන්නයි. අපි පෙන්වල තිබෙනවා අපේ අයවැය ප්‍රතිපත්තියේ සාර්ථකත්වය කොහොමද කියලා. මූල්‍ය ප්‍රතිපත්තිය එතන තියාගෙන මොනවාද වෙන්නේ? මූල්‍ය ප්‍රතිපත්තිය කටයුතු කරන්නේ ආණ්‌ඩුවේ අවශ්‍යතාව ඉටු කරන්න ස්‌වාධීන ආයතනයක්‌ වශයෙන්. මම මේක මීට වැඩිය ගෙනියන්නෙ නෑ. එතුමා මෙතන නැති නිසා. මට පුදුමයි එතුමා ඒ වගේ කියපු දේ. නමුත් මම දන්නා විදිහට මම හිතන්නේ එතුමා කියපු දේ විකෘති කරල කියපු නිසා, ඒ විකෘති කිරීම නිවැරදි කිරීමක්‌ තමයි මුදල් අමාත්‍යාංශයෙන් මම කළේ. නැත්නම් අහයි මුදල් ඇමැති වශයෙන් මම මේ ගැන උත්තරයක්‌ නොදුන්නේ ඇයි කියල.

(2017 ජනවාරි 05 දින මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස්‌ දක්‌වමින්)

පසුගිය ජනවාරි 03 වැනිදා සිදුවූ වැදගත් සිදුවීමක්‌ වූයේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි විසින් 2017 සහ ඉදිරිය සඳහා වූ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්‌ම ප්‍රකාශයට පත් කිරීමයි. මෙම 'පෙර දැක්‌ම' ඉදිරිපත් කිරීම මහ බැංකුව විසින් කලක්‌ තිස්‌සේ කරගෙන පැමිණි වැදගත් සම්ප්‍රදායක්‌ වුවත් එය අර්ජුන් මහෙන්ද්‍රන් (හිටපු) මහ බැංකු අධිපතිවරයා විසින් කඩ කළේය. එනම් ගිය වසරේ (2016) දී මහ බැංකුව විසින් එම 'පෙර දැක්‌ම' ඉදිරිපත් නොකළේය. දැන් එම ප්‍රතිපත්ති පෙරදැක්‌ම ඉදිරිපත් කිරීම යළිත් වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්‌වාමි ආරම්භ කර තිබීම සතුටට කරුණකි. එහෙත් අප මේ ලිපිය ලියන්නේ ඒ ගැන කියන්නට නොවේ. එම ප්‍රතිපත්ති පෙරදැක්‌ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ ඉතා වැදගත් අදහසක්‌ (මුදල් ඇමැති රවි කරුණානායක මහතා කෝපයට පත් කළ) පිළිබඳව සාකච්ඡා කරන්නටය. එනම් එදින මහ බැංකු අධිපතිවරයා සිය කතාවේදී ශ්‍රී ලංකා ආර්ථිකය රෝහල්ගත කළ රෝගියකුට සමාන කළේය. එහෙත් ඉකුත් ජනවාරි 05 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මුදල් ඇමැතිවරයා මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයාට දැඩි දොaස්‌ මුරයක්‌ එල්ල කළේය. මේ නිසා මුදල් ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර එළිපිටම මත ගැටුමක්‌ තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

ඉකුත් ජන 03 වැනිදා මහ බැංකු මූලස්‌ථානයේදී මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්‌ම (2017) ඉදිරිපත් කරමින් සිදුකළ කතාවේදී මහ බැංකු අධිපතිවරයා කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යොමු වී සිටීම මෙම වකවානුවේ ආර්ථික නියාමනයන්ට අනුව දුර්වල තත්ත්වයක්‌ පෙන්නුම් කරන දර්ශකයක්‌ බවයි. එය ආර්ථිකයක්‌ රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කිරීමකට ද ඔහු සමාන කළේය. මහ බැංකු අධිපතිවරයාගේ එම ප්‍රකාශය මහ බැංකුව විසින් නිකුත් කළ ප්‍රතිපත්ති පෙර දැක්‌ම නම් ප්‍රකාශනයේ ද සඳහන්ය. එය දැන් මහ බැංකු වෙබ් අඩවියට ද ඇතුළත් කර තිබේ. ඒ නිසා එය මුදල් ඇමැතිවරයා සිතන පරිදි මාධ්‍ය විසින් විකෘති කර ඉදිරිපත් කළ දෙයක්‌ නොවේ. මුදල් ඇමැතිවරයාටම මහ බැංකු වෙබ් අඩවියට ගොස්‌ එම සම්පූර්ණ කතාවම අවශ්‍ය නම් කියවිය හැකිය. (මහ බැංකු අධිපතිවරයාගේ එම ප්‍රකාශය මේ ලිපිය සමඟ වෙනම පළ වේ.) මුදල් ඇමැතිවරයා කෝපයට පත් කළේ මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශයයි. මුදල් ඇමැතිවරයා කෝපයට පත් කළත් ආර්ථිකයේ පවතින ඇත්ත තත්ත්වය කියා සිටීම ගැන මහ බැංකු අධිපතිවරයාව අප විසින් ඇගයීමට ලක්‌ කළ යුතුව තිබේ. මහ බැංකුව හෝ මහ බැංකු අධිපතිවරයා සිටින්නේ මුදල් ඇමැතිවරයා සතුටු කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන්නට නොවේ. මහ බැංකුව වූ කලී රජයේ නිල ආර්ථික උපදේශකයාය. ඒ නිසා මහ බැංකුව විසින් ආර්ථිකයේ ඇති අහිතකර තත්ත්වය පෙන්වාදී ඉන් ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය නිවැරදි උපදෙස්‌ හා මඟපෙන්වීම රජයට ලබාදිය යුතුය. එය මහ බැංකුවේ නිල වගකීමකි. එම වගකීම ඉටුකරන විට මුදල් ඇමැතිවරයා කෝප ගත යුතු නැති බව අපේ හැඟීමයි.

ශ්‍රී ලංකා ආර්ථිකය රෝහල්ගත කළ රෝගියකුට සමාන කළත් මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ආර්ථිකය තවමත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගියකු බවට පත්වී නොමැති බවයි. ඒ සඳහා ලබාදිය යුතු ප්‍රතිකාරය අප දන්නා බව ද මහ බැංකු අධිපතිවරයා කියා තිබේ. එසේ නම් දැන් කළ යුතු වන්නේ කුමක්‌ද? මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකය ගැන ඇත්ත ඇති සැටියෙන් කළ ප්‍රකාශය ගැන මුදල් ඇමැතිවරයා කෝප ගැනීමද? එසේ කෝප ගනිමින් මහ බැංකු අධිපතිවරයාට දොස්‌ පැවරීම ද? එසේත් නැත්නම් අපේ ආර්ථිකය මුහුණදී සිටින රෝගී තත්ත්වයෙන් ආර්ථිකය සුවපත් කර ගැනීමට මහ බැංකු අධිපතිවරයා දන්නවාය කියන ප්‍රතිකාරය අසා දැනගෙන (රජයේ නිල ආර්ථික උපදේශකයා වශයෙන්) ඒ අනුව කටයුතු කිරීමට පියවර ගැනීම නොවේද? රෝගීව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා ආර්ථිකය නමැති රෝගියා සුවපත් කර ගැනීමට ලබාදිය යුතු ප්‍රතිකාරය අප දන්නවා යෑයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා නිල වශයෙන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්‌ම ඉදිරිපත් කරමින් රටට කියන්නේ නම් තවත් කවර කතාවක්‌ද? වහාම කළ යුතු වන්නේ එම ප්‍රතිකාරය ලබාදී ආර්ථිකය සුවපත් කර ගැනීම නොවේද? ඒ නිසා මහ බැංකු අධිපතිවරයාට දොස්‌ පැවරීමෙන්වත් ආර්ථිකය රෝගියකු යෑයි කිව්වාය කියා ඔහු සමඟ කෝපගෙන ඔහුට ප්‍රසිද්ධියේ දොස්‌ පැවරීමෙන්වත් වැඩක්‌ නැත. එසේ කිරීමෙන් වන්නේ මහ බැංකු අධිපතිවරයා කියන වර්තමාන ශ්‍රී ලංකා ආර්ථිකය නමැති රෝහල්ගත කළ රෝගියා සුවපත් කර ගැනීමට අපහසු තත්ත්වයක්‌ ඇති වීමයි. ඉන් පීඩාවට පත් වනු ඇත්තේ මුළු මහත් පොදු ජනතාවයි. ඒ නිසා එසේ නොකරන ලෙස අපි මුදල් ඇමැතිවරයාගෙන් හුදෙක්‌ම මහජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු. අප එසේ කීවත් මුදල් ඇමැතිවරයාගේ ප්‍රතිචාරයෙන් නම් අපට පෙනෙන්නේ මහ බැංකු අධිපතිවරයා කියන දේ පිළිගැනීමට මුදල් ඇමැතිවරයා සූදානම් නැති බවකි. මේ නිසා අපේ ආර්ථිකයේ ඇති රෝගී තත්ත්වය තව තවත් උත්සන්න වී ශ්‍රී ලංකා ආර්ථිකය නමැති රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවනු ඇතිද?

එසේත් නැතහොත් මුදල් ඇමැතිවරයා කියන පරිද එම රෝගියා (ශ්‍රී ලංකා ආර්ථිකය) රෝහලෙන් බාහිර රෝගී අංශයට (ඕපීඩී) ගැනීමට හැකි වනු ඇතිද? අපි බලා සිටිමු.

දිවයින

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.