Menu

logo new 2015-5-11

සීමා නිර්ණයේ අත්සන් ලැබෙයි, වාර්තාවේ දොස් පිරෙයි

සීමා නිර්ණයේ අත්සන් ලැබෙයි, වාර්තාවේ දොස් පිරෙයි

සීමා නිර්ණ කමිටුවේ වාර්තාව එහි සභාපති අශෝක පීරිස්‌ විසින් පළාත්පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා වෙත භාරදීමට නියමිත තිබූ දින ඒ සදහා කමිටුවේ දෙදෙනෙකුගේ අත්සන් නොමැති වීම හේතුවෙන් එය භාර ගැනීම අත්හිටවුවත් ඊයේ වන විට ඒ සදහා අදාළ දෙදෙනාගේද අත්සන් ලැබුනු බව පුවත් වාර්තාවන් සදහන් කොට සිටියේය.

කෙසේ නමුත් අදාළ මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු රැසක්‌ වැරදි සහ පරස්‌පරතාවන්ගෙන් සමන්විත වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම වාර්තාව සකස්‌ කිරීම සඳහා පත් කරන ලද කමිටුවට කිසියම් බලපෑමක්‌ එල්ලවීම නිසා එය කඩිමුඩියේ සකස්‌ කිරීමෙන් එහි දෝෂ ඇති වී තිබෙන බව රජයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සදහන් කොට සිටියේය.

මෙම වාර්තාවට අනුව ඇතැම් පළාත් පාලන ආයතනවලට වැඩි සභික සංඛ්‍යාවක්‌ද ඇතැම් සභාවලට අඩු සභික සංඛ්‍යාවක්‌ ද ලබාදී ඇත.

ඒ අනුව දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 58937 ලෙස සඳහන් වන අතර ඊට ලබාදී ඇති සභික සංඛ්‍යාව 23 කි. සමන්තුරේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 68591 ලෙස දක්‌වා ඇත. එහෙත් ඊට ලබාදී ඇති සභික සංඛ්‍යාව 12 කි. උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 52137 කි. සභික සංඛ්‍යාව 17 කි.

සීමා නිර්ණ වාර්තාවට අනුව මුස්‌ලිම් හෝ දෙමළ වැඩි ජනගහනයක්‌ සිටින ඇතැම් ප්‍රදේශවලට සාපේක්‍ෂව අඩු සභික සංඛ්‍යාවක්‌ නම් කර ඇත.

එමෙන්ම ඇතැම් ස්‌ථානවල ජනගහනය විශාල වශයෙන් අසමාන වුවත් සමාන සභික සංඛ්‍යාවක්‌ ලබාදී ඇත.

කුච්චවේලි ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනගහනය 31200 කි. සභික සංඛ්‍යාව 10 කි. පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 12703 කි. සභික සංඛ්‍යාව 10 කි. මොරවැව ප්‍රාදේශීය සභාව ජනගහනය 9939 කි. සභික සංඛ්‍යාව 10 කි. ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව ජනගහනය 8348 කි. සභික සංඛ්‍යාව 10 කි.

ඉතා අධික ජනගහනයක්‌ සහිත පළාත් පාලන ආයතන රැසක්‌ වාර්තාවට ඇතුළත්a කර ඇත. (උදාහරණයක්‌ ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාව දැක්‌විය හැක.) මෙහි ජනගහනය 203976 කි. යෝජිත සභික සංඛ්‍යාව 35 කි. ඒ අනුව සභික ජනගහන අනුපාතය 6182 කි. අනෙකුත් ප්‍රාදේශීය සභාවල ජනගහන තත්ත්වය සලකා බැලීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභා දෙකකට හෝ තුනකට වෙන් කළ යුතුව ඇති බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට පැවැසීය.

මීට අමතරව පළාත් පාලන ආයතන අතර සීමා මායිම්වල විෂමතා රැසක්‌ තිබෙන බව හෙතෙම කීය.

බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති කිරීමේදී නම් යෝජනා කළ හැක්‌කේ එක්‌ අපේක්‍ෂකයකුට ලෙස දැක්‌වීම නිසා බහු කොට්‌ඨාස පිහිටුවීමේ අරමුණ කමිටු වාර්තාව මගින් සලකා බලා නැති බව අනාවරණය වී ඇතැයි ඉහත ප්‍රකාශකයා සඳහන් කළේය.

එමෙන්ම නව මැතිවරණ ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණය වැඩිවෙනවාද එසේ නම් ඒ වෙනුවෙන් කළ යුතු කාර්යයන් කුමක්‌ද? යන ගැටලු සම්බන්ධව විසඳුම් යෝජනා වී නොමැති බව එම ප්‍රකාශකයා පැවැසීය.

මේ අනුව සීමා නිර්ණ කමිටු වාර්තාවේ ගැටලු රැසක්‌ පවතින බව පවසන ආණ්‌ඩුව එම ගැටලුවලට විසඳුම් නොදී හදිසියේ වාර්තාව සකස්‌ කර ඉදිරිපත් කළේ කුමන පාර්ශ්වයක වුවමනාවකට අනුව ද යන්න පිළිබඳව අවධානය යොමු කරන බව ද සඳහන් කරයි.

දිවයින

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.