Menu

logo new 2015-5-11

අමරවීර මිනිස් බිල්ලක් ගැන කියයි

අමරවීර මිනිස් බිල්ලක් ගැන කියයි

හම්බන්තොට වරාය සිද්ධිය මුල්කරගෙන එම ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිකර මිනිස්‌ ජීවිතයක්‌ බිල්ලට දීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බවට බුද්ධි අංශ වෙත වාර්තා ලැබී ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (04 වැනිදා) සවස සිය අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වමින් පැවසීය.මේ සඳහා ඇතැම් දේශපාලන පක්‌ෂ සහ දේශපාලනඥයින් හම්බන්තොට වරාය පිsළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමග යෑවීමට පටන්ගෙන ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධව තවම ගිවිසුම් සකස්‌කර නැති බවත් ඒ සඳහා කැබිනට්‌ අනුමැතිය හෝ ලැබී නැති බවත් පැවසූ ඇමැතිවරයා දැනට කැබිනට්‌ අනුමැතිය ලබාදී ඇත්තේ වරාය සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික ආයෝජකයකු සොයා ගැනීමට බවත් කීවේය.

ඒ අනුව දැනට චීන ආයෝජකයකු තෝරාගෙන ඇති බවත් එම ආයෝජකයා සමග සාකච්ඡා පවත්වා චීනයට 80% ක්‌ සහ ශ්‍රී ලංකා රජයට 20% ක්‌ අයිතිය පැවරෙන ලෙස හම්බන්තොට වරාය පවරනු ලබන බවත් හම්බන්තොට කර්මාන්ත පුරය සඳහා යොදාගන්නේ ප්‍රදේශයේ ඇති හිස්‌ ඉඩම් අක්‌කර දෙදහසක්‌ පමණ ප්‍රමාණයක්‌ බවත් මහින්ද අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය.

මම හම්බන්තොට ඉපදුන කෙනෙක්‌. ඔය කියන තරම් අක්‌කර පහලොස්‌ දහසක්‌ දෙන්න හම්බන්තොට ඉඩම් නැහැ. හම්බන්තොට කිසිදු ගම්මානයක්‌ ඉවත් කරන්නේත් නැහැ.

ඉදිකරන කර්මාන්ත පුරයේ චීන ආයෝජකයන් විසින් සිමෙන්ති නිෂ්පාදනාගාරයක්‌ තෙල් පිරිපහදුවක්‌, ගෑස්‌ මගින් ස්‌වභාවික විදුලිය නිපදවන බලාගාරයක්‌ ඇතුළු කර්මාන්ත ශාලා කිහිපයක්‌ ඉදිකරනවා. ඉන් වසර දෙකක්‌ ඇතුළත රැකියා දස දහසක්‌ පමණ ලැබෙනවා. මෙය අලුත් සැලසුමක්‌ නෙමෙයි. පසුගිය රජය කාලයේ සැලසුම් කළ ව්‍යාපෘතියක්‌. හම්බන්තොට වරායෙන් සහ මත්තල ගුවන් තොටුපළින් පමණක්‌ රැකියා උත්පාදනය කරන්න බැහැ.

රටට හානි කර කිසිදු ආකාරයක ගිවිසුමකට නොයන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මට සහතික වූවා. එහෙම දෙයක්‌ වෙනවා නම් මේ ආණ්‌ඩුවෙන් මුලින්ම අයින් වෙන්නෙ මම. අපට ආණ්‌ඩුවෙත් විපක්‌ෂයෙත් ඉඳලා පුරුදුයි. හම්බන්තොට ඉපදිලා හම්බන්තොට පොළවටම පස්‌ වෙන කෙනෙක්‌ විදිහට මම හම්බන්තොට ප්‍රදේශයට හෝ එහි ජනතාවට හානිකර දෙයක්‌ වෙන්න ඉඩ තියෙන්නේ නැහැ යෑයි ද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කීවේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.