Menu

logo new 2015-5-11

බ්‍රිතාන්‍ය පොලීසිය උපාධිය අනිවාර්ය කෙරේ..

බ්‍රිතාන්‍ය පොලීසිය උපාධිය අනිවාර්ය කෙරේ..

2020 වසරේ සිට එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් සේවයට අලුතින් බඳවා ගන්නා සියළුදෙනා උපාධිධාරීන් වියයුතු බව පොලිස් නිලධාරීන් පුහුණුකිරීමේ ආයතනය පවසයි.

අපරාධ මර්ධනය සම්බන්ධයෙන් ඇතිකිරීමට යන වෙනස්කම් වලදී උපාධිය මගින් ලැබෙන පුහුණුව උපකාරීවන බව එම ආයතනය අවධාරණය කරයි.
ඒ අනුව පොලීස් නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට අපේක්ෂා කරන්නන් වසර තුනක පෙරඋපාධි පුහුණුවක්, පශ්චාත් උපාධියක් ඉලක්ක කෙරෙන පාඨමාලාවක් හෝ උපාධියක් සම්පුර්ණ කළ යුතුවේ.
මෙම නව වෙනස්කම් පොලිස් සේවාවේ තත්වය ඉහළ නැංවීමට හේතුවනු ඇති බවද බ්‍රිතාන්‍ය පොලිස් ප්‍රධානීන්ගේ මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
'අන්තර්ජාල පොලිස් මෙහෙයුම්'
පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය විශාල වශයෙන් වෙනස්වී ඇති අතර, ඔවුන් මහාමාර්ගවල සෝදිසි මෙහෙයුම් කරන ආකාරයටම අන්තර්ජාල සෝදිසි මෙහෙයුම්වල යෙදෙන පිරිසක් බවට පත්වී සිටින බව පොලිස් නිලධාරීන් පුහුණුකිරීමේ ආයතනයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් පෙන්වා දෙයි.
"අන්තර්ජාලය යොදාගෙන කෙරෙන අපරාධ වල වැඩිවීමක් තියනවා. ඒ අනුව නිලධාරීන්ට සහ කාර්යමණ්ඩලවලට තොරතුරු තාක්ෂණය යොදාගනිමින් රහස්පරීක්‍ෂණ පැවැත්වීමට සිදුවෙලා තියනවා," යනුවෙන් ඔහු පැවසීය.

එසේම ඔහු පවසන ආකාරයට පහසුවෙන් අවදානමට ගොදුරුවිය හැකි ජනකොටස් ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන්ම පවතින අතර ගෘහස්ථ හිංසනය, අතිශය අනතුරුදයක ලිංගික වැරදිකරුවන් ගේ ක්‍රියා පිළිබඳ සෝදිසියෙන් සිටීම මෙන්ම ළමුන් ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම සඳහා නිලධාරීන්ගේ කාලය වැඩිවශයෙන් යෙදීමට සිදුවී තිබේ.
අතීතයේදී රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක් පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේදී සිදුවූයේ ප්‍රහාරයට ලක්වුවන් සමග කතා කිරීම, සමාජශාලා හිමිකරු සහ සේවකයන් ගෙන් තොරතුරු ලබා ගැනීම වුවද, දැන් වීඩියෝ පට සහ ඡායාරූප විමර්ශනය කිරීම සහ සමාජ වෙබ් අඩවිවල පළවූ අදහස් අධ්‍යයනය කිරීම දක්වා එම ක්‍රියාවලිය සංකීර්ණ වී තිබේ.
පොලිස් නිලධාරියෙකු ලෙස වසර තිස් එකක් ලන්ඩනයේ සේවය කළ විශ්‍රාමික පොලිස් නිලධාරී නොර්මන් බ්‍රෙනන් පැවසුවේ උපාධියක් ලබාගැනීම එවකට පොලිස් නිලධාරියෙකුගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළින්ම තිබූ කරුණක් බවය.
"ඒ කාලෙ පොලිස් නිලධාරියෙක් වෙන්න අවශ්‍යවුනු එකම උපාධිය වුණේ සාමාන්‍ය දැනීම. කොහොමවුනත් මහජනතාව පොලීසියට උපාධි තියනවද නැද්ද කියල තැකීමක් කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය දක්‍ෂ, මිනිස්සුන්ට හොඳින් සලකන හැකියාවක් තියන කවුරුහරි විතරයි," යනුවෙන් ඔහු පැවසීය.
පොලිස් උපාධියේ ඇතිවන වෙනස්කම්
බ්‍රිතාන්‍ය පොලිස් සේවයට අදාළ සදාචාරය සහ පුහුණුව පිළිබඳව වගකියන පොලිස් අභ්‍යාස විද්‍යාලය විශ්ව විද්‍යාල දොළහක් සමග උපාධි පාඨමාලා පිළිබඳව සකච්ඡා පවත්වා තිබේ.
එම පාඨමාලා වල අන්තර්ගතය අනුව නීතිය, පහසුවෙන් අවදානමට ගොදුරුවිය හැකි අය ආරක්ෂා කිරීම, මහමගදී පොලිස් නිලධාරියෙකු හැසිරිය යුතු ආකාරය මෙන්ම ජනප්‍රජාවන් සමග හොඳින් ගනුදෙනුකරන ආකාරය පිළිබඳවද හැදෑරීම කළ යුතුවේ.
අයදුම්කරන මට්ටමේ දී විකල්ප තුනක් ඔස්සේ එය කළ හැකිය:
වසරතුනක පොලිස් කොස්තාපල් පෙර උපාධි පුහුණු කාලය සඳහා පොලිස් ආයතනය විසින් වැටුප් ගෙවීම සිදුවෙයි. ඒ අනුව 80%ක කාලයක් මෙහෙයුම් කටයුතුවල නිරතවෙමින් ඉගෙනගන්නා අතර වැටුප් ලැබීමට හැකියාව ලැබේ.
එසේම දෙවන ක්‍රමය අනුව අනෙකුත් වෘත්තීන්හි දක්නට ලැබෙන ආකාරයට ප්‍රයෝගික පොලිස් සේවා උපාධියක් තම පුද්ගලික වියදමින් සම්පුර්ණ කර සුදුසුකම් ලැබීමෙන් පසු පොලිස් නිලධාරී තනතුර සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබේ.
දැනටමත් ප්‍රථම උපාධියක් හිමි අයට සය මසක පශ්චාත් උපාධි පාඨමාලාවක් සම්පුර්ණ කිරීමෙන් පසු පොලිස් නිලධාරී තනතුරකට අයදුම් කිරීමට අවස්ථාව උදාවීම තුන්වැනි ක්‍රමයයි.
වෙනත් විශේෂතා:
පොලිස් නිලධාරීන්ට ලැබෙන ජාතික සුදුසුකමක් ලෙස කළමනාකරණය නායකත්ව පුහුණුවට අවස්ථාව සැලසීම
සහකාර පොලිස්පති පදවිය සඳහා ඉල්ලුම්කිරීමේදී අවශ්‍යවන ශාස්ත්‍රපති පශ්චාත් උපාධි පාඨමාලාවේ වියදම පොලිස් ආයතනය මගින් ගෙවීම
පොලිස් නිලධාරීන් සහ කාර්යමණ්ඩලය සඳහාවූ සුදුසුකම් ලැයිස්තුවක් ලබන ග්‍රීෂ්ම ඍතුවේ දී ප්‍රකාශයට පත්කිරීමට පොලිස් අභ්‍යාස ආයතනය කටයුතු යොදා ඇති අතර දැනට සේවයේ යෙදීසිටීමෙන් ලත් අත්දැකීම් පාඨමාලාවට අයදුම් කිරීමේදී එකතුවන ආකාරය සහ මූල්‍ය පහසුකම් පිළිබඳ විස්තර ද ඊට ඇතුලත් වීමට නියමිතය.
එංගලන්තයේ සහ වේල්සයේ ඇති පොලිස් බලකායන් 43ක් සඳහා දැනට පවතින ක්‍රමය අනුව නිශ්චිත සුදුසුකම් පිළිබඳ සඳහන් කර නැත.
ඇතැම් බලකායන් සඳහා පාසැල් සමයේදී පෙනීසිටින GCSE විභාගයේ දෙවන පෙළ සුදුසුකම් ප්‍රමාණවත් වන අතර තවත් බලකායන් සඳහා ඩිප්ලෝමා සහ පෙර උපාධි සුදුසුකම් අවශ්‍යවේ.
දැනට පොලිස් සේවයට එක්වී සිටින පිරිස අතරින් 38% කට දැනටමත් ප්‍රථම උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ඇත.
පොලිස් නිලධාරීන් 124,066 ක් එංගලන්තය සහ වේල්සයේ සේවයේ යෙදී සිටින අතර පොලීසිය විසින් සේවාවේ යොදවා ඇති මුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 200,922කි.

බිබිසි

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.